උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය

උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයට ප්‍රතිකාර නොකළහොත්, උණ්ඩුකපුච්ඡ පැලී යාම හේතුවෙන් මාරාන්තික විය හැකි ආසාදන ඇති විය හැක. ඔබට එකවරම ඉතා උග්‍ර වී උදරය හරහා පැතිරෙන වේදනාවක් පවතී නම් ගිලන් රථයක් කැඳවන්න. මේවා ඔබේ උණ්ඩුකපුච්ඡය පැලී ඇති බවට සලකුණු විය හැක.

උදරච්ඡද ප්‍රදාහය (peritonitis)

ඔබේ උණ්ඩුකපුච්ඡය පැලී ගියහොත්, ඔබේ උදරයේ ඇතුල් ආස්තරණය (උදරච්ඡදය) බැක්ටීරියා මගින් ආසාදනය වනු ඇත. මෙය උදරච්ඡද ප්‍රදාහය (peritonitis) ලෙස හැඳින්වෙයි. එය ඔබේ අභ්‍යන්තර අවයව වලටද හානි කළ හැක. උදරච්ඡද ප්‍රදාහයේ ලක්ෂණ වලට පහත දේ ඇතුලත් වේ:

  • නොනවතින දැඩි උදර වේදනාව
  • අසනීප ගතියක් දැනීම හෝ අසනීප වීම
  • තද උන
  • වේගවත් හදගැස්ම
  • හුස්ම ගැනීමේ අපහසුතාව හා ශ්වසන වේගය වැඩි වීම
  • උදරය ඉදිමීම

උදරච්ඡද ප්‍රදාහයට වහාම ප්‍රතිකාර නොකළහොත්, එය දීර්ඝකාලීන ගැටලුවලට හේතු විය හැකි අතර මාරාන්තික තත්ත්ව පවා ඇති විය හැක. උදරච්ඡද ප්‍රදාහයට සාමාන්‍යයෙන් කරන ප්‍රතිකාරවලට ප්‍රතිජීවක හා උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීමට සැත්කම් අඩංගු වේ.

සැරව ගෙඩි

සමහර විට පැලී ගිය උණ්ඩුකපුච්ඡයක් ආශ්‍රිතව සැරව ගෙඩි නිර්මාණය විය හැක. මෙය ශරීරය මගින් ආසාදනය සමග සටන් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වන වේදනාකාරී සැරව එකතුවකි. කලාතුරකින් (500 කට 1ක් පමණ), උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීමට සිදු කරන ශල්‍යකර්මයේ සංකූලතාවයක් ලෙස සැරව ගෙඩියක් ඇති විය හැක. සැරව ගෙඩි සමහර විට ප්‍රතිජීවක මගින් සුව කළ හැකි නමුත්, බොහෝ අවස්ථාවල එහි පිරී ඇති සැරව ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය අල්ට්‍රාසවුන්ඩ් හෝ CT ස්කෑන් ක්‍රම ආධාරයෙන් සිදු කළ හැක. ඔබට අදාළ ප්‍රදේශයට පමණක් බලපාන නිර්වින්දක ලබා දෙනු ඇති අතර කටුවක් ආධාරයෙන් සැරව ඉවත් කිරීම සඳහා බටයක් ඔබේ සම හරහා ඇතුල් කරනු ඇත. ශල්‍යකර්මයක් අතරතුරදී සැරව ගෙඩියක් හමුවුවහොත්, එම ප්‍රදේශය ප්‍රවේශමෙන් සෝදා හරිනු ලබන අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි.